දයාබර දරුවනි,
දෙමව්පියනි,
ආදි ආදර්ශයිනි,
සුභපතන්නනි,

සමස්ත ලෝකයම කොවිඩ් 19 නැමති වසංගත රෝගය හේතුවෙන් පීඩා විදින මෙවන් කාල පරිච්ඡේදයක ලාංකික දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසියම් ආකාරයකින් අක්‍රියවීම පිලිබඳව මම බෙහෙවින් කණගාටු වෙමි . එසේ වුවද එම වසංගතය සහමුලින්ම පරාජයකොට ඉතා කෙටිකලකින් නැවතත් පාසල් පද්ධතිය නව ජවයකින් යුක්තව සමාරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. එබැවින් මෙම දීර්ඝ නිවාඩු කාලයේ දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් කටයුතු කරමින් උපරිම ඵල නෙලා ගැනීමට සියල්ලෝම සිතට ගත යුතුය . 2019 අ.පො.ස. (සා.පෙළ ) විභාගයේදී ආ මෙවරද 95.05% ක ඉහල ප්‍රතිඵලයක් වාර්තා කොට ඇත. සිංහල , ගණිතය ඇතුලුව උසස් පෙළ සුදුසුකම් සැපිරූ දරුවන්ගේ ප්‍රතිශතය වනුයේ 94.43% කි. එය කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පාසල් අතර ඉහලම ප්‍රතිඵලයකි . එමෙන්ම කුරුණෑගල කොට්ඨාසයේ සමත් ප්‍රතිඵලය වන 86.35% මෙන්ම කුරුණෑගල කලාපයේ සමත් ප්‍රතිඵලය වන 81.33% ලබා ගැනීම සඳහා අප විද්‍යාලයේ වාර්තාගත ප්‍රතිඵලය දායකවීමද සතුටුදායක කරුණකි. සැබැවින්ම මෙබඳු විශිෂ්ට ප්‍රතිඵලයක් වාර්තා කොට ඇත්තේ සිසුන් අතළොස්සකින් නොව 300 ඉක්මවූ සිසුන් ප්‍රමාණයක් විභාගය සඳහා සූදානම් කිරීමෙනි . එමෙන්ම ගුරුභවතුන්ගේ , සිසු දරුවන්ගේ , දෙමව්පියන්ගේ නොපසුබස්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් වසර ගණනාවක් මුළුල්ලෙහි අඛණ්ඩව මෙම සුවිශේෂී ප්‍රතිඵල අත්කොටගෙන ඇතිබව මාගේ හැඟීමයි . ඒ නිසාම ඒ සියල්ලටම මාගේ කෘතවේදීත්වය හිමිවිය යුතුය . දරුවනට , දෙමව්පියනට , ආදි සිසුනට , සුභපන්නන්ට සේම දිවා රාත්‍රී නොතකා මා සමඟ අත්වැල් බැඳ වෙහෙසිමින් ඉගැන්වීම් කටයුතු කරනු ලබන නියොජ්‍ය විදුහල්පතිනට සේම දයාබර ගුරු භවතුන්ට මාගේ උපකාරස්මෘතිය මින් පිරිනමමි . ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික විභාග වන 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ ) විභාගයන්හිදී ද කුමන බාධක පැමිණියද විශිෂ්ට ප්‍රතිඵල ළඟාකර ගැනීමට අපි සියල්ලෝම උත්සුක විය යුතුය . ඒ සඳහා ගෙදර සිට නිවැරදි කාලසටහනකට අනුව කටයුතු කර ගැනීමට අපි සියල්ලෝන උත්සුක විය යුතුය. ඒ සඳහා ගෙදර සිට නිවැරදි කාල සටහනකට අනුව කටයුතු කිරීමට සිතට ගත යුතුව ඇත. අපගේ ගුරුභවතුන්ට හැකි අයුරින් නව තාක්ෂණය මඟින් ඔබට සමීප වෙමින් ප්‍රශ්න පත්‍ර , පාඩම් සහ විවිධ ක්‍රියාකාරකම් ලබාදීමට කටයුතු කොට ඇත . තාක්ෂණය නිවැරදි ලෙස පරිශීලනය කරමින් ඔබගේ වටිනා කාලය වැඩදායී ලෙස යෙදවීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත වන්නේ ය . එවිට ඔබගේ ඉලක්කය කරා යාමට අපහසු නොවන්නේ ය. ළඟදීම වසංගත කාලය නිමා වී ඔබට වසන්තය උදාවනු සත්තය . ඔබට ජය .

එස්.එම්.දිනේස උදිත බණ්ඩාර
විදුහල්පති.